Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිසුන්ට ප්‍රයෝජනවත් වෙන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් කිහිපයක්

සිසුන්ගේ කටයුතු පහසු කරන, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යටතේ ක්‍රියාත්මක වෙන, Google Play Store හරහා නොමිලේ බාගත කර ගත හැකි යෙදුම් කිහිපයක් හඳුන්වා දීම යි මෙම ලිපියේ අරමුණ වන්නේ.

අද කාලේ ජංගම දුරකථනයක් භාවිතා නොකරන කෙනෙක් නොමැති තරම්. ඒ වගේම ජංගම දුරකථන භාවිතා කරන අය අතරින් බහුතරයක් දෙනා තරුණ වයසේ පසු වන අය. අතීතයේ දී දුරකථනයක් භාවිතා කළේ ඇමතුමක් ලබා ගැනීමට පමණක් වුවත් අද වන විට ඇමතුමක් ගැනීමට හැරෙන්න අනෙක් සෑම කටයුත්තකට ම පාහේ භාවිතා වන්නේත් ජංගම දුරකථනය යි. බස් රථයකට ගොඩ වුණත් එහි ගමන් කරන අයගෙන් හරි අඩක් පමණ ම ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙන Clash of Clans ක්‍රීඩා කිරීම, සංගීතයට සවන් දීම, මුහුණුපොතේ සැරිසැරීම හෝ මල් කැඩීම වැනි කුමන හෝ කටයුත්තක නියැලෙන අයුරු අපට දැක බලා ගන්න පුළුවන්.

(blog.threattrack.com)

ජංගම දුරකථන භාවිතා කරන තරුණ පිරිසෙන් වැඩි කොටසක් විශ්ව විද්‍යාලයක හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හදාරන අය යි. නමුත් ඔවුන් අතරින් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකථනය යොදා ගන්නේ අතළොස්සක්, එයට හේතුව ජංගම දුරකථනය මිල දී ගැනීමේ දී ම එහි තිබෙන යෙදුම් (inbuilt apps) දිගින් දිගට ම භාවිතා කිරීම හෝ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගත හැකි ප්‍රයෝජනවත් යෙදුම් (apps) පිළිබඳ ව නිසි දැනුමක් නොතිබීම වෙන්න පුළුවන්. ඒ නිසා සරසවි සිසුන්ගේ කටයුතු පහසු කරන, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යටතේ ක්‍රියාත්මක වෙන, Google Play Store හරහා නොමිලේ බාගත කර ගත හැකි යෙදුම් කිහිපයක් හඳුන්වා දීම යි මෙම ලිපියේ අරමුණ වන්නේ.

Evernote

Google Play Store ඇගයීම : 4.6/5

(play.google.com)

මුල් කාලයේ දී යෙදුම ජනප්‍රිය වෙලා තිබුණේ සටහන් තබා ගැනීමට යොදා ගත හැකි යෙදුමක් වශයෙන්. නමුත් මෑතක දී සිදු කළ යාවත්කාලීන කිරීමේ මගින් සරසවි සිසුන්ට වැදගත් වන තවත් අංගයන් කිහිපයක් ම එක් කර තිබෙන නිසා දේශන සටහන් නිසි ලෙස ගබඩා කිරීම, අන්තර්ජාලයෙන් ශාස්ත්‍රීය පර්යේෂණ සඳහා අවැසි ලිපි ලබා ගැනීම සහ ඒවා අවශ්‍ය පිළිවෙළ අනුව ඉස්මතු කිරීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ දායක වීම මෙන් ම දේශන සටහන් සාකච්ඡා කිරීම සහ විවරණය කිරීම Evernote යෙදුම හරහා සිදු කරන්න පුළුවන්.

මීට අමතර ව දවසේ කළ යුතු වැඩ කටයුතු පිළිබඳ ව ලැයිස්තුවක් සකස් කර ගැනීමටත් මේ මගින් හැකියාව ලැබෙනවා. එසේ ම මේ හරහා දේශනවල දී ලබා ගන්නා දත්ත තමන්ට කැමති ඕනෑම ආකාරයකට (එනම් ලිපියක්, ඡායාරූපයක්, හඬ පටයක් හෝ වීඩීයෝ පටයක් ලෙස) ජංගම දුරකථනයේ ගබඩා කිරීම සිදු කළ හැකි යි. මෙම යෙදුම Google Play Store හෝ Evernote වෙබ් අඩවිය හරහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා නොමිලේ බාගත කර ගත හැකි අතර Windows Store සහ App Store (iOS) මගින් වින්ඩෝස් සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා ද බාගත කර ගත හැකි යි.

Dropbox Mobile

Google Play Store ඇගයීම : 4.4/5

(mspoweruser.com)

තමන්ට අවශ්‍ය කරන ලිපි ලේඛන, ඡායාරූප සහ වීඩියෝ ගබඩා කරන්න ජංගම දුරකථනයේ තව දුරටත් ඉඩක් නොමැති නම් ඒ සඳහා යොදා ගත හැකි යෙදුමක් තමයි,  Dropbox Mobile. ඒ මගින් නොමිලේ 2GB දක්වා දත්ත ගබඩා කිරීමට පමණක් නෙමෙයි Dropbox ගිණුමක් නොමැති කෙනෙක් සමග පවා විද්‍යුත් ලිපිනය භාවිතා නොකර විශාල ලිපි ගොනු හුවමාරු කර ගැනීමේ අවස්ථාව සලසා දෙනවා.

මෑතක දී මයික්‍රොසොෆ්ට් සමාගම, Dropbox සමග හවුලේ කටයුතු කිරීම ඇරඹීමත් සමග දැන් ජංගම දුරකථනය මගින් Dropbox ගිණුම හරහා Microsoft Office ලිපි ගොමුවලට පිවිසීමට සහ ඒවා සංස්කරණය කිරීමට හැකියාව තිබෙනවා. මෙම යෙදුම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළ ක්‍රියාත්මක වීමට නම් 4.1 Jelly Bean හෝ ඉහළ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් තිබිය යුතු යි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයම් පද්ධතියට අමතර ව වින්ඩෝස් සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා ද මෙය නොමිලේ බාගත කර ගත හැකි යි.

My Study Life

Google Play Store ඇගයීම : 4.3/5

නිසි කලට පැවරුම් භාර නොදීම, ප්‍රමාද වී දේශන ශාලාවට යෑම වැනි අතපසු වීම් නිසා සරසවි සිසුන් අමාරුවේ වැටෙන අවස්ථාවන් බොහෝම යි. එවැනි කරදර (මෙන් ම ඉන්පසු ව මුහුණ දීමට සිදු වන දඬුවම්) මග හරවා ගැනීම සඳහා භාවිතා කළ හැකි ඉතාමත් ප්‍රයෝජනවත් යෙදුමක් වන My Study Life මගින් දේශන පැවැත්වෙන වේලාවන් සහ ස්ථාන, විභාග කාලසටහන් සහ නිබන්ධන හෝ පැවරුම් භාර දිය යුතු දිනයන් පිළිබඳ ව සටහන් තබා ගත හැකි යි. මේ යෙදුම නිර්මාණය කර ඇත්තේ සිසුන්ගේ පමණක් නෙමෙයි ගුරුවරුන්ගේ සහ කථිකාචාර්යවරුන්ගේ ද කටයුතු පහසු කිරීමේ අරමුණ සහිත ව යි.

එසේ ම දත්ත ඇතුළත් කළ පසු මෙම යෙදුම මගින් අදාළ දේශන සහ පැවරුම් භාර දීම සඳහා වන අවසන් දිනය ආදිය නිරතුරු ව ම මතක් කර දීම සිදු කරනවා. ඊට අමතර ව තමන්ට පහසු ආකාරයට විවිධ වර්ණ භාවිතා කරමින් දින, සති හෝ මාසික කාලසටහන් සැකසීම ද සිදු කළ හැකි යි. මෙම යෙදුම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළ ක්‍රියාත්මක වීමට නම් 4.0.3 Ice Cream Sandwich හෝ ඉහළ ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයක් තිබිය යුතු අතර වින්ඩෝස් සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා ද බාගත කළ හැකි යි.

Mint

Google Play Store ඇගයීම : 4.3/5

විශ්ව විද්‍යාලයකට තේරෙන සිසුන්ගේ අතළොස්සකට පමණ යි නිවසේ සිට දේශන සඳහා පැමිණිමේ වාසනාව ලැබෙන්නේ. බහුතරයක් දෙනාට දුර පිළිබඳ ගැටලු පවතින නිසා සරසවි හෝ පෞද්ගලික නේවාසිකාගාරයක නවාතැන් ගන්න සිදු වෙනවා. ඉන් පසු ව දේශන, පැවරුම් සහ අනෙකුත් බාහිර ක්‍රියාකරකම් අතරේ මාසෙකට දවසක්වත් ගෙදර යන්න නොහැකි වෙන අවස්ථා තිබෙනවා. මෙහෙම ම වෙලාවට එදිනෙදා වියදම අවශ්‍ය කරන මුදල් දෙමව්පියන් විසින් බැංකුවේ තැන්පත් කරනවා. ඒත් ඇතැම් වෙලාවට මාසේ වියදම ලබා දෙන මුදල සතියක් ගත වෙනකොට අපටත් නොදැනීම අවසන් වෙනවා. එහෙම අවස්ථා මග හරවා ගන්න කාගෙත් පිහිටට එන ඉතාමත් ප්‍රයෝජනවත් යෙදුමක් තමයි, Mint.

(iclarified.com)

මේ මගින් ලැබෙන ආදායම් සහ සිදු කරන වියදම් පිළිබඳ දත්ත පමණක් නෙමෙයි ඉදිරියට සිදු කළ යුතු ගෙවීම පිළිබඳ ව පවා සටහන් තබා ගැනීමට හැකි බැවින් ප්‍රමාදයකින් තොර ව නිසි කලට විශ්ව විද්‍යාල හා අනෙකුත් ගාස්තු ගෙවීම සිදු කරන්න පුළුවන්. එසේ ම නිසි ලෙස යාවත්කාලීන කිරීම මගින් දිනපතා ම උදෑසන තමන් සතු මුදල් ප්‍රමණය පිළිබඳ වැටහීමක් ලබා ගෙන අනවශ්‍ය වියදම් මග හරහා ගැනීමට මෙම යෙදුම මගින් ලබා දෙන දායකත්වය ඉතා වටිනවා. මීට අමතර ව ණයපත් සහ බැංකු ගිණුම් මෙම යෙදුමට සම්බන්ධ කිරීම තුළින් ඒවායේ ගිණුම් ශේෂයන් පරීක්ෂා කිරීමට ද මේ මගින් පහසුකම් සලසා තිබෙනවා. මෙය බාගත කළ හැක්කේ ඇන්ඩ්‍රොයිඩ් සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා පමණ යි.

RefME

Google Play Store ඇගයීම : 4.3/5

(subjects.library.manchester.ac.uk)

නිබන්ධන සැකසීමේ උද්ධෘතයන් සිදු කිරීම සහ ග්‍රන්ථ නාමාවලියක් දැක්වීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතු යි. ඒ සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් යෙදුමක් ලෙස RefME හඳුන්වන්න පුළුවන්. මෙහි දී මූලික වශයෙන් ම ජංගම දුරකථනයේ කැමරාව යොදාගෙන අදාළ ග්‍රන්ථයේ තීරු සංකේතය (barcode) ස්කෑන් කිරීම මගින් එම ග්‍රන්ථය (මෙය සෑම ඉංග්‍රීසි පොතක් සඳහා ම ද ඇතැම් සිංහල පොත් සඳහා ද අදාළ වේ) පිළිබඳ තොරතුරු සොයා ගැනීමට හැකි අතර නිබන්ධනය සඳහා යොදා ගැනීමට අවශ්‍ය කරන උපුටා ගැනීම් සිදු කිරීමට උපකාර කරනවා. එසේ ම මේ මගින් අධ්‍යාපනික වෙබ් පිටු පිළිබඳ තොරතුරු සොයා ගැනීමත් සිදු කළ හැකි යි.

මීට අමතර ව අදාළ උද්ධෘතයන් පිළිබඳ ව කෙටි සටහන් යෙදීම, කණ්ඩායම් නිබන්ධනයක දී තොරතුරු හුවමාරු කර ගැනීම, නිබන්ධනය Microsoft Office Word ලිපි ගොනුවක් බවට පරිවර්තනය කිරීම වැනි කරුණු සඳහා ද මෙම යෙදුම යොදා ගත හැකි යි. මෙම යෙදුම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුළ ක්‍රියාත්මක වීමට නම් 4.0 Ice Cream Sandwich හෝ ඉහළ සංස්කරණයක් තිබිය යුතු අතර iOS මෙහෙයුම් පද්ධති සඳහා ද බාගත කළ හැකි යි.

අපි දැක්වූ ඒවාට අමතරව තව ප්‍රයෝජනවත් යෙදුම් ගැන ඔබත් දන්නවාද? එහෙනම් පහලින් තියෙන comment වලින් අපිට කියන්න.

කවරයේ පින්තූරය: img.ji-qi.com

මූලාශ්‍ර: laptopmag.com, businessinsider.com, androidauthority.com, play.google.com/store

Related Articles