Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපි විසින් වෙනස් කළ යුතුම පාස්වර්ඩ් 5 ක්

එදිනෙදා ජීවිතයේදී පරිගණක සහ ඒ ආශ්‍රිත සේවාවන් භාවිතා කරන බොහෝ දෙනෙකුට Password එහෙමත් නැතිනම් මුරපද ගැන තියෙන්නේ ඒ තරම් ප්‍රියමනාප හැඟීමක් නම් නෙමේ. බොහෝවේලාවට බොහෝ දෙනාට තමන් විසින් යොදපු Password එක අමතක වීම නිසා අදාළ පරිගණකයට, Smart Phone එකට, On-Line එකවුන්ට් එකට ලොග් වෙන්න බැරුව වින්ද දුක්-කරදර අප්‍රමාණයි. Password එක අමතක වෙන හින්දා ඒක කොලයක ලියාගෙන පර්ස් එකේ දාගෙන හිටියම සිද්ධ වෙන කරදර ඊට වඩා වැඩියි. ඒ කොහොම උනත් පරිගණක ලෝකය තුළ Password නැතුව අපිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා.

ඇතුවත් බැරි, නැතුවත් බැරි Password එක්ක ගණුදෙනු කරන්න ඕනෙම නිසා බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක් එක්ක එන Default Password එහෙමත් නැතිනම් පෙරනිමියෙන්ම එන මුරපද ඒ විදියටම පාවිච්චි කරන එක. මේ ආකාරයට default password භාවිතා කරන එකෙන් වෙන්න පුළුවන් හානිය අති විශාලයි. ඔබ විසින් අනිවාර්යෙන්ම වෙනස් කළයුතු Password 5ක් පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.

1. Windows Administrator Password

Administrator Password එක වෙනස් කළාද? (windowspasswordsrecovery.com)

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ Administrator account එකට ගොඩක් වෙලාවට කිසිම කෙනෙක් Password එකක් යොදන්නේ නැහැ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන වෙලාවටත්, ඒ Password එක ලබාදීම සිදුකරන්නේ නැහැ. වර්ථමානයේ වැඩි වශයෙන්ම භාවිතයේ තිබෙන වින්ඩෝස් 7, 8.1 සහ 10 කියන සංස්කරණ 3ම Administrator account එක පෙරනිමියෙන්ම පැමිණෙන්නේ අක්‍රීයවයි.

නමුත් පරිගණක පිළිබඳව සාමාන්‍ය අවබෝධයක් සහ හැකියාවක් තියෙන කෙනෙකුට වුවත් පුළුවනි මේ කියපු වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියකට ඇතුළුවෙලා එහි Administrator account එකේ පාලනය තමන්ගේ අතට අරගන්න. මෙහි තිබෙන බරපතළකම දැන් ඔබට වැටහෙනවා ඇති කියලා අපි විශ්වාස කරනවා.

ඔබ දැනට භාවිතා කරන පරිගණකය මිලදී ගන්නාවිටම එහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් අන්තර්ගතව තියෙනවනම්, එහි Administrator password එක වෙනස් කරගැනීම ඉතා ඉක්මනින්ම සිදු කරගත යුතු දෙයක්. ඒ වගේම ඔබ දැනට භාවිතා කරන පරිගණකයට ඔබ විසින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සංස්කරණයක් අන්තර්ගත කරගත්තානම්, එහිත් Administrator account එකේ password එක වෙනස් කරගන්න එක නුවණට හුරුයි නේද?

2. ඔබගේ අන්තර්ජාල රවුටරයේ Password එක

රවුටර් එකේ ආරක්ෂාව ගැන අමතක කරන්න එපා. (makeuseof.com)

අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න අන්තර්ජාල රවුටරයක් භාවිතා කිරීම අපි බොහෝ දෙනෙක් සිදුකරන දෙයක්. ඒ රවුටරය Wi-Fi රවුටරයක් නම්, Wi-Fi සම්බන්ධතාවය ආරක්ෂිත කරගන්න හැටි ගැන බොහෝ දෙනෙක් කල්පනාකාරී වෙනවා. ඔබගේ Wi-Fi සම්බන්ධතාවය ආරක්ෂා කරගන්න විදිය ගැන අපි ලියපු ලිපියත් කියවලා බලන්න කියලා අපි ආරාධනා කරනවා. අපි බොහෝ දෙනෙක් Wi-Fi සම්බන්ධතාවය ආරක්ෂාකරගන්න විදිය ගැන හිතුවත්, රවුටරයේ ආරක්ෂාව ගැන කල්පනා කරන්නේ කීයෙන් කී දෙනාද? බොහෝ රවුටර් මාදිළිවල settings පිටුවට ඇතුළත් වීමට වෙබ් බ්‍රව්සරයේ 192.168.1.1 ලෙස සඳහන් කර enter කිරීම ප්‍රමාණවත්. ලෝකයේ නම් දැරූ අන්තර්ජාල රවුටර් සෑම එකකම වාගේ Default Password ඒවා හෙළිකිරීම සඳහාම නිර්මාණය කරපු වෙබ් අඩවියකින් හෝ ඉතා පහසු ගූගල් සෙවුමක් මඟින් සොයාගත හැකියි.

සාමාන්‍යයෙන් ඔබේ රවුටරයට log විය හැකිවන්නේ ඔබගේ network එකට සම්බන්ධව සිටින අයට පමණයි. ඔබේ Wi-Fi සම්බන්ධතාවයේ password එක දුර්වල වීම නිසා හෝ වෙන ආකාරයකට (ඔබගේ පරිගණකය, smart phone එක හෝ smart TV එක) හෝ ඔබගේ network එකට ඇතුළුවුන පුද්ගලයෙකුට, රවුටරයටත් පහසුවෙන් ඇතුළුවීමට හැකිවීම මඟින් ඔබේ සමස්ථ network එකම තමන්ගේ පාලනයට ගැනීමට හැකියාව තිබෙනවා. ඒ ඔස්සේ ඔබගේ අන්තර්ජාලයේ හැසිරීම නිරීක්ෂණය කිරීම, ඔබගේ On-Line accounts වල paaswords ලබාගැනීමේ ආදියේ සිට ඔබව කරදරයට පත්කරනා බොහෝ දේවල් සිදුකිරීමට ඔහුට හැකියාව තිබෙනවා.

මේ සියළු දේට වැට බැඳීම සඳහා ඔබ විසින් කළයුතු වන්නේ ඔබගේ Wi-Fi සම්බන්ධතාවයට ශක්තිමත් password එකක් යෙදීම සහ රවුටරය සඳහා පෙරනිමියෙන් පැමිණෙන password එක වෙනස් කර වෙනත් ශක්තිමත් password එකක් යෙදීම පමණයි.

3. ඔබගේ On-Line බැංකු ගිණුම්වල Password

මේකත් වෙනස් කරන්න වටින පාස්වර්ඩ් එකක් (pob.com.sb)

අන්තර්ජාල බැංකුකරණය අද අපේ රට තුල ඉතා වේගයෙන් ජනප්‍රියවන සේවයක්. දිවයිනේ ක්‍රියාත්මකවන බොහෝ බැංකු විසින් තමන්ගේ ගණුදෙණුකරුවන් හට අන්තර්ජාල බැංකුකරණ සේවා ප්‍රවර්ධනය කිරීම සිදුකරනවා. මෙහිදී තමන්ගේ account එකට ඇතුළත්වීම සඳහා අවශ්‍ය Password එක බොහෝවිට ලබාදෙන්නේ අදාළ බැංකුව මඟින්. සෑමවිටකම වාගේ පරිගණකය මඟින් නිර්මාණය කරන ලද password එකක් තමයි මේ සඳහා ලබාදෙන්නේ.

අකුරු, ඉලක්කම්, සංඛේත යනාදියෙන් පරිපූර්ණ (උදා: dTa$6wT!mK ) මේ password එක බැලූ බැල්මට බොහෝ ආරක්ෂාකාරී password එකක් ලෙස ඔබට සිතෙන්නට පුළුවනි. ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මේ password එක ශක්තිමත් password එකක් තමයි. “එහෙනම් මේ password එක මම වෙනස් කළයුත්තේ ඇයි?” යනුවෙන් ඔබ අපෙන් අහනවා නිසැකයි. හේතුව මේකයි, සාමාන්‍යයෙන් මේ ආකාරයේ password එකක් මතක තබාගැනීමට ඉතා අපහසුයි. ඒ නිසා බොහෝ දෙනෙක් මේ password එක කොළකැබැල්ලක ලියාගෙන තමන්ගේ මුදල් පසුම්බියේ තබාගැනීම, ජංගම දුරකතනයේ සටහනක් විදියට තබා ගැනීම, පරිගණකයේ ලිපිගොනුවක් විදියට තබාගැනීම වගේ ආරක්ෂාව අතින් පහළ ක්‍රමවේදයන් ඔස්සේ තබාගැනීම සිදුකරනවා.

යම් විදියකින් ඒ සටහන් වෙනත් කෙනෙකු අතට පත්වූවෝතින් සිදුවෙන්නට හැකි දේ පිළිබඳව ආයෙත් අලුතෙන් කියන්න දෙයක් නැහැ නේද? මේ නිසා ඔබගේ On-Line බැංකු ගිණුම්වල password සඳහාත් default password එක වෙනුවට, ඔබට මතකයේ තබාගත හැකි නමුත් වෙනත් කෙනෙකුට අනුමාන කළ නොහැකි password යොදාගැනීම සුදුසුයි කියන එකයි අපේ නිර්දේශය.

4. කෝකටත් තෛලේ Password එක

කෝකටත් තෛලේ ආරක්ෂාවට හොඳම නැහැ. (gizmojunkee.com)

අද අපි බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවිවල user accounts නිර්මාණය කරගෙන ඉන්නවා. Google, Facebook, Twitter, LinkedIn, Elakiri වගේ සමාජ ජාල වෙබ් අඩවි, Amazon, Ebay, Ali Express, Takas වගේ අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදීගත හැකි වෙබ් අඩවි සහ තවත් නොයෙකුත් අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරපු නානාප්‍රකාර වෙබ් අඩවි ඒ සඳහා උදාහරණ විදියට දක්වන්නට පුළුවනි. බොහෝ දෙනෙක් තමන්ගේ ලේසිය, පහසුව සහ තවත් නොයෙක් හේතු හේතුන් මේ සියළුම වෙබ් අඩවි සඳහා භාවිතා කරන්නේ එකම username එක සහ password එක.

ඒ password එක කෝකටත් තෛලේ කියලා අපි හැඳින්වූවේ ඒ නිසයි. නිකමට හිතන්න, වෙනත් කවුරුන් හෝ කෙනෙකුට මේ එක account එකක හෝ password එකක් ලැබුණෝතින්, ඉතා කෙටි කාලවේලාවක් ඇතුළත ඔබගේ සියළු on-line accountsවල පරිපාලනය ඔවුන්ට ලබාගන්න පුළුවනි කියලා ආයේ අලුතෙන් කියන්න දෙයක් නැහැ නේද.

මේ නිසා ඔබත් දැනට පාවිච්චි කරන්නේ කෝකටත් තෛලේ password එකක් නම්, ඒ වෙනුවට password කීපයක් පාවිච්චි කරන්න දැන් තමයි හොඳම වෙලාව කියලා අපි මතක් කරන්න කැමතියි. ඒ වගේම On-Line accountඑකේ ආරක්ෂාව සඳහා password එක මත පමණක්ම යැපෙන්නේ නැතිව වෙනත් ආරක්ෂක විධිවිධාන අනුගමනය කරන එක සුදුසුයි කියලත් සඳහන් කරන්න අවශ්‍යයි.

ඔබට Password කීපයක් මතක තියාගන්න අමාරුමනම්, වඩාත් පහසුවෙන් ඒ වැඩේ කරන හැටි ගැන දැනගන්න පුළුවනි මේ ලිපිය කියවීමෙන්.

5. Smart Phone එක Unlock කිරීම

Smart Phone එක Dumb කරන්න එපා. (kojaro.com)

මේක password කියන කාණ්ඩයට සෘජුවම ඇතුළත් නොවුනත්, ආරක්ෂාව කියන මාතෘකාව යටතේදී කතා කළයුතුම දෙයක්. වර්ථමානයේදී බොහෝ දෙනෙක් Smart Phone භාවිතා කරන ආකාරය දකින්න පුළුවනි. නමුත් ආරක්ෂිතව Smart Phone භාවිතා කරන එක ගැන අවබෝධයක් හෝ තියෙන්නේ ඉන් ඉතා සුළු පිරිසකට පමණයි කියලයි අපිට හිතෙන්නේ. 2016 වර්ෂයේ නිකුත් වූ වාර්ථාවකට අනුව Android Smart Phone භාවිතා කරන අයගෙන් 34%ක් දෙනා කිසිම ආකාරයක screen lock එකක් භාවිතා නොකරන බවට වාර්ථා වෙනවා.

Smart Phone එකකින් ඔබගේ On-Line account එකකට log වීමෙන් පසුව යළිත් log out වීමක් සිදුවන්නේ නැති බව ඔබ දන්නවා ඇති. ඒ අනුව ඔබගේ Smart Phone එක නිසා ඔබ සෑම විටම ඒ අදාළ account එකට log වී ඉන්නවා. නිකමට හිතන්න, ඔබ ඔබගේ Smart Phone එකේ screen lock එකක් භාවිතා කරන්නේ නැහැ. මේ අතරවාරයේ ඔබගේ Smart Phone එක කවරෙකු විසින් හෝ සොරකම් කරන ලද නම් හෝ වෙනත් අනවශ්‍ය පුද්ගලයෙකු අතට ලැබුණෝතින්, එම පුද්ගලයාට සිදු කළ හැකි දේවල් පිළිබඳව දැන් ඔබට සිතාගන්නට පුළුවනි නේද? ඒ නිසා සෑමවිටම ඔබගේ Smart Phone එකේ screen lock එක සඳහා කුමන හෝ ආකාරයක lock එකක් භාවිතා කරන එක බොහොම හොඳ පුරුද්දක් විදියටයි අපි නම් දකින්නේ. ඒ වගේම Touch ID සහ Facial Recognition ආදී ලෙස වඩාත් දියුණු ආරක්ෂක ක්‍රමව්වේදත් දැන් Smart Phone සඳහා පැමිණ තිබෙනවා. මේ ආරක්ෂිත ක්‍රමෝපායන් තියෙන්නේ භාවිතා කරන්න කියන එකත් මතක තබාගන්න එක බොහොම වැදගත්.

මේ ලිපියේ සඳහන් කරුණුත් කල්පනා කරලා බලලා, පරිගණක සහ අන්තර්ජාලය තුළදී ඔබගේ ආරක්ෂාව වැඩිකරගන්න ආකාරය පිළිබඳව ඔබ ක්‍රියාමර්ග ගනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම මීට අමතරව තවත් එදිනෙදා ජීවිතයේදී භාවිතා වෙන Default Password ගැන ඔබ දන්නවානම්, ඔබට පුළුවනි අපිවත් ඒ ගැන දැනුවත් කරන්නට.

කවරයේ පින්තුරය: dealthereviews.com

Related Articles