Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Anti-Virus නැතුව පරිගණක පාවිච්චි කරමු

එදිනෙදා ජීවිතයේදී තමන්ගේ වැඩ කටයුතු සඳහා පරිගණක පාවිච්චි කරන බොහෝ දෙනාට තිබෙන මූලිකම ප්‍රශ්නයක් තමයි පරිගණක වෛරස්. කොහෙන් ආවද දන්නෙත් නැති, වෙන්නේ මොනවද කියලා දන්නෙත් නැති, පරිගණකයේ RAM එකෙන් CPU එකෙන් විශාල ප්‍රමාණයක් අරගන්න, ෆෝල්ඩර් ඇතුළේ තව තව ෆෝල්ඩර් හදන, අපේ වැදගත් ෆයිල්ස් මකලා දාන හෝ පාවිච්චි කරන්න බැරි තත්ත්වෙට පත් කරන මේ වෛරස් නිසා පරිගණක පාවිච්චි කිරීමත් එපා වෙච්ච වාර ගණන මෙච්චරක් කියලා කියන්න බැහැ. ඒ විතරක් නෙමේ, වෛරස් අයින් කරන්න කියලා පරිගණකය format කරපු වාර ගණනත් ඊට පස්සේ ආයේ operating system එක සහ අනිත් softwares ස්ථාපනය කරගන්න විඳපු දුක සහ ඒ වෙනුවෙන් වැයකරපු කාලය… හපොයි, මතක් වෙද්දිත් එපා වෙනවා නේද.

මේ වෛරස් ප්‍රශ්නෙට විසඳුම විදියට අපි දැක්කේ මොකක්ද? Anti-Virus software එකක්, හැමෝටම තේරෙන භාෂාවෙන් කියනවානම් වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරන එක. වෛරස්වලින් බේරෙන්න ඕනේ නිසා අපි එහෙම softwares අන්තර්ගත කරගත්තා කියමුකෝ. ඒත් ඊට පස්සේ ආපු අතොරක් නැති ප්‍රශ්න. වෛරස් ගාඩ් එක නිසා පරිගණකයේ වේගය බලාගෙන ඉද්දි අඩු වෙන එක. Hard Disk එකේ ඉඩ අඩුවෙන එක, දවසකට කීප සැරයක්ම එන Update Notification, මේවා නිසා ඇතිවෙච්ච මානසික වදය ගැන කල්පනා කරද්දි කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ නේද කියලා හිතුනේ එක පාරක් දෙපාරක් විතරක් නෙමෙයි නේද?

2015 අවුරුද්දේදි ලෝකේ සිදුවෙච්ච පරිගණක වෛරස් සහ වෛරස් ආශ්‍රිත හැකර් ප්‍රහාරයන්, කප්පම් ගැනීම් සහ තවත් නොයෙක් විස්තර ගැන දීර්ඝ වාර්තාවක් ලෝප්‍රකට Anti-Virus Software නිපදවන ආයතනයක් වෙන Kaspersky මඟින් එළිදැක්වූවා. ඒ වගේම 2016 වසරේදී පරිගණක වෛරස් සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ගැන පුරෝකතනයකුත් ඔවුන් විසින් ඉඳිරිපත් කරලා තියෙනවා. මෙම විස්තර අනුව පැහැදිලියි, පරිගණක වෛරස් කියන්නේ මොනතරම් කරදරකාරී දෙයක්ද කියන එක.

Anti-Virus Softwares නැතුව පරිගණකයක් පාවිච්චි කරන්නම බැරිද? වෛරස්වලින් බේරිලා ඉන්න වෙන විදියක් ඇත්තේම නැද්ද? Roar.lk පාඨක ඔබේ හිතටත් වදදෙන මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න අද අපි තීරණය කළා.

Anti-Virus Software නැතුව වෛරස්වලින් ගැලවෙන්න පුළුවන් විදි මොනවාද?

1 – අන්තර්ජාලයේදී පරිස්සමෙන් හැසිරෙන්න

ඕනදෙයක් පරිස්සමින් (spotageek.com)

ඕනදෙයක් පරිස්සමින් (spotageek.com)

ඔබ Anti-Virus Software භාවිතා කළත් නැතත් නිරන්තරයෙන් අන්තර්ජාලයේ ගැවසෙනවානම් එය තුළදී වඩාත් සුපරික්ෂාකාරීව කටයුතු කිරීම* සිදුකළ යුතුමයි. හැකි සෑම අවස්ථාවකදීම වෙනත් ලිංක් ක්ලික් කිරීමෙන් තොරව ඔබට පිවිසෙන්නට අවශ්‍ය වෙබ් අඩවියේ නම browser address bar එකේ ටයිප් කර පිවිසෙන්න. ඒ වගේම ඊමේල් හරහා පැමිණෙන ඇමිණුම් (attachments) ඔබේ පරිගණකයට බාගත කරගන්න කළින් ඒ ඇමිණුම් එව්වේ කවුද, මොන වර්ගයේ ෆයිල් එකක්ද යන වග පිළිබඳව නිසි සෝදිසියක් කරන එකත් යහපත් පුරුද්දක්. අන්තර්ජාලයෙන් යම් කිසි දෙයක් බාගත කරගනිද්දි හැමවිටම අපිට අවශ්‍ය ෆයිල් එකම ඒ ආකාරයට බාගත කරගන්නවාද කියලා අවබෝධයෙන් සිටීමත් සිදු කළයුතුමයි. උදාහරණයක් විදියට කිව්වොතින් අපි උත්සාහ කරන්නේ mp3 එකක් බාගත කරගන්න නම්, හැමවිටම ඒ mp3 ෆයිල් එක පමණක් බාගත කරගන්නම වගබලාගන්න අවශ්‍යයි. බොහෝ වෙබ් අඩවිවලින් අපි යම් ෆයිල් එකක් බාගත කරගන්න උත්සාහ කරද්දි, ඔවුන් අපිට ඒ ෆයිල් එක වෙනුවට වෙනත් මෘදුකාංගයක් බාගත කරගෙන ඒ හරහා අපිට අවශ්‍ය ෆයිල් එක බාගත කරගන්නා ලෙස දැනුම් දෙන ආකාරය අපි අනන්තවත් අත්දැක තිබෙනවා. ඒ ආකාරයට විශ්වාසනීය නොවන** වෙබ් අඩවිවලින් ලබාදෙන නොදන්නා මෘදුකාංග අපේ පරිගණකයට අන්තර්ගතකරගැනීමෙන් අපි කරගන්නේ අපේම ආරක්ෂාව නැති කරගැනීම කියන එක පැහැදිලියි නේද.

*අන්තර්ජාලය හෝ පුද්ගලික පරිගණක ජාලයක් (Intranet) පාවිච්චි කරද්දි ඔබේ පරිගණකයට වෛරස් පැමිණීමේ අවධානම ඉතා ඉහළයි. කොයිතරම් පරිස්සම් සහ සුපරික්ෂාකාරී විදියට ඔබ කටයුතු කළත්, පරිගණක ජාලයන් තුළදී ඔබේ පරිගණකයට වෛරස් පැමිණීමේ අවධානමක් තිබෙනවා.

**අපි ඉතා හොඳින් දන්නා විශ්වාසනීය වෙබ් අඩවියකින් වුවත් වෛරස් අඩංගු ෆයිල්ස් බෙදාදීම සිදුවන්නට ඉඩ තිබෙනවා. උදාහරණයක් විදියට යම් කිසි පුද්ගලයෙක් විසින් එම වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කර එහි බාගත කිරීම් කොටසේ වෛරස් අඩංගු ෆයිල් තැබීමෙන්, එම බාගත කිරීම් සිදුකරගන්නා අයගේ පරිගණකවලට වෛරස් ඇතුළුවීම සිදුවිය හැකියි.

ලෝ ප්‍රකට GitHub වෙබ් අඩවියට මේ ආකාර සයිබර් ප්‍රහාරයක් 2012 වසරේදී එල්ල වුනා. එහිදී බොහෝ මෘදුකාංග මේ ආකාරයට වෙනස් කිරීම එම සයිබර් ප්‍රහාරය එල්ල කල පුද්ගලයින් විසින් සිදුකර තිබුනා.

2 – ඔබේ මෘදුකාංග නිතරම යාවත්කාලීන කරන්න

යාවත්කාලීන කිරීමත් ඉතාම වැදගත් දෙයක් (buyeliteproxy.com)

යාවත්කාලීන කිරීමත් ඉතාම වැදගත් දෙයක් (buyeliteproxy.com)

ඔබේ පරිගණකයේ තිබෙන මෘදුකාංග, විශේෂයෙන්ම අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන්න ඔබ භාවිතා කරනා මෘදුකාංග නිතරම යාවත්කාලීන කිරීම මඟින් වෛරස්වලින් සහ අනිකුත් සයිබර් ප්‍රහාරවලින් ඈත්ව සිටින්නට ඔබටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ තිබෙන මෙහෙයුම් පද්ධතියත් නිරන්තරයෙන් update කිරීම වැදගත්. බොහෝවෙලාවට අපි භාවිතා කරන මෘදුකාංග, මෙහෙයුම් පද්ධති මේ ඕනෑම එකකට නිරන්තරයෙන් security updates සහ security patches නිර්මාණය කර එවන්න එම මෘදුකාංග සහ මෙහෙයුම් පද්ධති නිර්මාණය කරන සමාගම් කටයුතු කරනවා. නිරන්තරයෙන් යාවත්කාලීන වෙච්ච මෘදුකාංගයක ආරක්ෂාව යාවත්කාලීනයක් නොමැති මෘදුකාංගවලට සාපේක්ෂව ඉතා ඉහළයි කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා නේද? ව්‍යාජ ආකාරයෙන් පිටපත් කරන ලද හෝ crack කරන මෘදුකාංග සඳහා මේ විදියට යාවත්කාලීන කිරීම් සිදුකරන්නට හැකියාවක් නැති බවත් මෙහිදී අපි සිතේ තබාගත යුතු වෙනවා. තවමත් ඔබ පාවිච්චි කරන්නේ crack කරන ලද මෘදුකාංගයන් නම්, දැන් වෙනස් වෙන්න කාලේ ඇවිත්.

3 – On-Line Virus Scan Tools පාවිච්චි කරන්න

අන්තර්ජාලමය virus-scan මෙවලම් භාවිතයේත් වාසි තියෙනවා (techsupportall.com)

අන්තර්ජාලමය virus-scan මෙවලම් භාවිතයේත් වාසි තියෙනවා (techsupportall.com)

USB පෙන් ඩ්‍රයිව් එකකින්, CD/DVD හෝ වෙන මොන විදියකින් හරි ඔබට ලැබුන ෆයිල් එකක වෛරස් තිබෙන බවට ඔබට සැකයක් ඇති වුනෝතින්, on-line virus scan tools පාවිච්චි කරලා ඔබට පුළුවනි ඒ ෆයිල් ගැන ඔබේ සැකය තහවුරු කරගන්න. ලෝකයේ ප්‍රමුඛ Anti-Virus Software සමාගම් බොහොමයක් මේ ආකාරයට On-Line Virus Scan සේවාවන් තමන්ගේ වෙබ් අඩවිය හරහාම සිදුකරනවා.

4 – Web Browser එකට Security Extensions එකතු කරගන්න

ටිකක් වෙනස් උනත් මේකත් හොඳ පුරුද්දක් (makeuseof.com)

ටිකක් වෙනස් උනත් මේකත් හොඳ පුරුද්දක් (makeuseof.com)

අපේ වෙබ් බ්‍රව්සර් එක හරහාත් අපිට පුළුවනි අන්තර්ජාලය හරහා අප වෙත පැමිණෙන වෛරස් පැතිරීම පාලනය කරගන්න. මේ වැඩේ කරන ලේසිම විදිය තමයි browser extensions එහෙම නැත්තං Add-on පාවිච්චි කරන එක. පරිශීලකයාගේ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳවම කේන්ද්‍ර කරගෙන නිර්මාණය කර තිබෙන Security focused browser extensions විශාල ප්‍රමාණයක් අද අපි පාවිච්චි කරන වෙබ් බ්‍රව්සර් සඳහා අන්තර්ගත කරගන්න පුළුවනි. වර්තමානයේ ලෝකයේ බහුලවම භාවිතා වෙන Mozilla Firefox සහ Google Chrome වෙබ් බ්‍රව්සර් සඳහා වගේම අනිකුත් වෙබ් බ්‍රව්සර් සඳහාත් ඇති ඒ ආකාරයේ extensions මඟින් Anti-Virus softwares මඟින් ලබාගන්න බලාපොරොත්තුවෙන සේවාවන් ලබාගන්න අපිට පුළුවනි.

5 – ලිනක්ස් පාවිච්චි කරන්න

මේකට පුරුදු වෙන්න පුළුවන් නම් කිසිම කරදරයක් නැහැ. (monolitik.com)

මේකට පුරුදු වෙන්න පුළුවන් නම් කිසිම කරදරයක් නැහැ. (monolitik.com)

ඔව්, ඔබ ලිනක්ස් මෙහෙයුම් පද්ධති පරිශීලකයෙක්නම් පරිගණක වෛයිරස් කියන්නේ තවදුරටත් ඔබට හිසරදයක් නෙමෙයි. මෙයින් අපි කියන්නේ නැහැ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා කවදාවත් වෛරස් ප්‍රහාරයක් එල්ලවී නොමැති බව හෝ ලිනක්ස් යනු 100%ක්ම වෛරස්වලින් තොර මෙහෙයුම් පද්ධතියක් බව. නමුත් වින්ඩෝස් සහ ඇපල් මෙහෙයුම් පද්ධතිවලට සාපේක්ෂව ලිනක්ස් සඳහා වන වෛරස් බලපෑම ඉතාම අඩුයි. ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති නිර්මාණය කර තිබෙන්නේම බොහෝ වෛරස් ප්‍රහාරයන්ට ඔරොත්තු දෙන ආකාරයට වීම ඊට හේතුව ලෙස දක්වන්නට පුළුවනි. ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති Open Source නිසා බොහෝ දෙනා ඒ කේත ගැන අවධානයෙන් ඉන්නවා. ඉතින් යම් කිසි ආකාරයකින් ඒ කේතයන්වල වැරැද්දක් හෝ වෙනස්වීමක් සිදුවූවෝතින් ඒ වෙනස එක වර බොහෝ දෙනෙක් ග්‍රහණය කරගන්නවා. එහෙම අනවශ්‍ය වෙනසක් දුටු වහා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නත් මෙහිදී බොහෝ දෙනෙක්ට හැකියාව තිබෙනවා. වින්ඩෝස් සහ ඇපල් මෙහෙයුම් පද්ධතිවලදී මේ තත්ත්වය වෙනස්. ඒ මෙහෙයුම් පද්ධති වල source code පරිශීලනය කිරීමේ හැකියාව තිබෙන්නේ ඒ අදාළ කොටස් සම්බන්ධව කටයුතු කරන ඉතාම සීමිත සංඛ්‍යාවකට පමණයි. ඒ හේතුවෙන් එම කේතවල යම් වෙනසක් සිදුවූවෝතින් එම වැරැද්ද නිවැරදි කරන්න සිදුවෙන්නේ ඒ සීමිත පුද්ගලයින් කීපදෙනාට පමණයි. ඒ අනුව ඔබට දැන් පැහැදිලි ඇති ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධති සඳහා වෛරස් ආසාදනයක් අඩුවෙන්නට හේතුව.

මේ නිසා පරිගණක වෛරස් යනු ඔබේ දැවෙන ගැටළුවක්නම් ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතියකට මාරුවීමෙන් ඒ දැවෙන ගැටළුවට ක්ෂණික විසඳුමක් ලබාගන්න පුළුවන් කියන නිර්දේශය අපි ඔබට ලබාදෙනවා.

වැදගත්:

ශ්‍රී ලංකාවේ බහුතරයක් දෙනා තවමත් පාවිච්චි කරන්නේ ක්‍රැක් කරපු Anti-Virus Softwares බව අපි හැමෝම දන්න දෙයක්. අපේ පරිගණකයට පිටින් ඇවිත් විනාශකාරී හෝ කරදරකාරී දේවල් කරන මෘදුකාංග අල්ලන්න හදලා තියෙන Anti-Virus Software එක crack කළා කියන්නේ, ගමේ පොලීසියට හොරු පැනලා වගේ සිද්ධියක් කියලයි අපිට නම් හිතෙන්නේ. ඉතින් එහෙම crack කරපු Anti-Virus Softwares වලින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව අපිට ලැබෙනවද? මේගැනත් පොඩ්ඩක් හිතල බලන්න.

ඉහතින් සඳහන් කරපු ක්‍රම අනුගමනය කිරීමෙන් වෛරස් ආසාදනවලින් තොරව පරිගණක පාවිච්චි කරන්න ඔබටත් පුළුවනි. අදම මේ දේවල් උත්සාහ කර බලන්න. අපි හැමෝගෙම අවසාන අවශ්‍යතාවය වෛරස් කරදරවලින් තොර සුවදායී පරිගණක ජීවිතයක් නේද?

කවරයේ පින්තුරය: spotageek.com

Related Articles