Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iOS10 ජේල්බ්‍රේක් කිරීමේ වාසි තිබෙනවාද?

ඒත් තවමත් ප්‍ර‍ශ්ණය එලෙසමයි: ඔබ iOS 10 ජේල්බ්‍රේක් කළ යුතු ද? අපි එසේ කිරීමෙන් ඇතිවන අවධානම් තත්ව සහ අවාසි මෙන් ම ඉන් ලැබෙන වාසි ගැනත් දැන් සොයාබලමු.

පසුගිය කාලයේ අන්තර්ජාලයේ තාක්‍ෂණික කතාබහ අතරින් අයිෆෝන් ජේල්බ්‍රේක් කිරීම ගැන බොහෝ දෙනෙක්ට අමතකව ගිය බවක් පෙනෙන්නට තිබුණත්, iOS 10 පැමිණීමත් සමඟම එය නැවතත් කරළියට පැමිණ තිබෙනවා. මුල් කාලයේ තිබූ iOS සතුව පැවති අවම පහසුකම් නිසා තාක්ෂණ රසය ඇති හැම කෙනෙක් ම පාහේ තම දුරකථනය ජේල්බ්‍රේක් කරගන්නට උනන්දු වුණා. නමුත් පසුව ඇපල් සමාගම විසින් දුරකථනයේ ඇති දේවල් වෙනස් කරගන්නට වැඩි පහසුකම් සැලසීමත් සමඟ ඒ සඳහා ඇති අවශ්‍යතාව බොහෝ දෙනෙක්ගෙන් ගිලිහී ගියා. එහෙත් දැන් දැන් ඇපල් සමාගම මේ සම්බන්ධව දක්වන සැලකිල්ල අඩුව යන නිසාදෝ නැවතත් ජේල්බ්‍රේක් කතිකාවත හැමතැනම පාහේ දකින්නට ලැබෙනවා.

නස්රුදින් මතක් කරලා දෙනවා වගේ දන්නා අය ගැන මෙන් ම නොදන්නා අය ගැනත් අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඒ නිසා මඳක් කෙටියෙන් බලමු ජේල්බ්‍රේක් කියන්නේ මොකක්ද කියලා.

ජේල්බ්‍රේක් කියන්නේ මොකක්ද?

(nunoagonia.com)

ඇපල් සමාගම විසින් මෙහෙයුම් පද්ධතියේ, පද්ධති ගොනු සඳහා විය හැකි හානි වැළැක්වීම සඳහා එම ගොනුවලට ඇති පිවිසුම් හැකියාවන් පරිශීලකයාගෙන් මෙන් ම යෙදුම් (apps) වලින් ද වළකා තිබෙනවා. මේ නිසා දුරකථනයට හානියක් සිදුවීමේ හානිය වැළැකෙන්නේ ඔබට මෙහෙයුම් පද්ධතියේ පෙනුම, එක්රැස්වී ඇති අනවශ්‍ය ගොනු ඉවත් කිරීම හෝ පෙරනිමියෙන් ලැබෙන අනවශ්‍ය හෝ අකමැති යෙදුම් තිබෙනම් ඒවා ඉවත් කරගන්නට ඇති හැකියාව ද අහිමි කරමිනුයි.

ඇපල් සමාගම පමණක් නොවෙයි, ඇන්ඩ්‍රොයිඩ් සඳහා ද මෙම ගැටළුව ඇති අතර ඇන්ඩ්‍රොයිඩ්වලදී මෙම පද්ධති ගොනු සඳහා පිවිසුම් විවෘත කර ගැනීම “රූට් කිරීම” ලෙසින් හඳුන්වනවා. ජේල් බ්‍රේක් (Jail Break) යන ඉංග්‍රීසි වචනයේ අර්ථය හිරෙන් පැනීම යන්න යි. ඉතින්, හිර කරලා තිබෙන පද්ධති ගොනු ටික ඉන් මුදවා ගැනීම ජේල් බ්‍රේක් ලෙස හැඳින්වෙනවා. කාටද දැන් Prison Break කථා මාලාව මතක් වුණේ?

ඒත් තවමත් ප්‍ර‍ශ්ණය එලෙසමයි: ඔබ iOS 10 ජේල්බ්‍රේක් කළ යුතු ද? අපි එසේ කිරීමෙන් ඇතිවන අවධානම් තත්ව සහ අවාසි මෙන් ම ඉන් ලැබෙන වාසි ගැනත් දැන් සොයාබලමු.

පෙනුමට කරගත හැකි වෙනස්කම් බොහොමයි

(cloudfront.net)

ඔබ මෙහෙයුම් පද්ධතියේ අතුරුමුහුණතෙහි කිසියම් දේකට කැමති නැතිනම් ජේල්බ්‍රේක් උපක්‍රමයකට හෝ යෙදුමකට එය සකසන්නට හැකි වේවි. එපමණක් නොවෙයි, ඔබට මෙහෙයුම් පද්ධතියේ තිබෙන ඕනෑම දෙයක් වෙනස් කරන්නට පුළුවන්. අගුළු තිරයේ ඇති දේවල්වල පිළිවෙළ වෙනස් කරන්නට මෙන් ම නිවස්න (home) තිරයේ ඇති අයිකන, සජීවීකරණ, අකුරු විලාස ආදී ඉතා පුළුල් පරාසයක දේවල් වෙනස් කරන්නට ඔබට මේ හරහා හැකියාව ලැබෙනවා.

ඔබ රාත්‍රියේ දුරකථනය වැඩිපුර භාවිතා කරන කෙනෙක් නම් සුදු පැහැති යෙදුම් නිසා දුරකථන තිරයේ දීප්තියේ අධික බවට අකමැති ඇති. හැබැයි ජේල්බ්‍රේක් කරගෙන තිබුණානම් තිරයේ ඇති සියළුම දේට අඳුරු බවක් ලබාදී කළු පැහැති අයිෆෝන් සඳහා වඩාත් ගැලපෙන අතුරුමුහුණතක් ද ලබාගන්නට ඔබට අවස්ථාව ලැබෙනවා. මේවා කරගැනීම සඳහා ජේල්බ්‍රේක් කිරීමෙන් පසු මෙම වෙනස්කම් කිරීම සඳහා මේ වනවිටත් සකසා ඇති යෙදුම් ආදිය ස්ථාපනය කරගත යුතු වෙනවා. 2017 වන විට iPhone පැමිණ වසර 10ක් පමණ වන නිසා තෙවන පාර්ශවීය මෘදුකාංග සංවර්ධකයන්ට ඊට විවිධ වෙනස්කම් කරන්නට ලැබුණු කාලය ඉතා ඉහළ නිසා මේ වන විට ඔවුන්ගේ නිර්මාණ වලින් අපට ලබාගත හැකි ප්‍රයෝජන බොහොමයි.

iOS ඉඩ නොදෙන බොහෝ දේ කරගත හැකියි

(theunlockr.com)

ජේල්බ්‍රේක් කරගත්විට මෙහෙයුම් පද්ධතියෙන් අවස්ථාව නොදෙන දේවල් කර ගැනීම සඳහා පහසුකම් සලසන යෙදුම් භාවිතා කරන්නට අවස්ථාව සැලසෙනවා. දුරකථනයේ තිබෙන ෆේස්බුක්, වට්ස්ඇප් ආදී යෙදුම් අපිට ලැබෙන පින්තූර, ශ්‍රව්‍ය හා වීඩියෝ ගොනු ආදිය අපිට පෙන්වන්නේ දුරකථනයේ ඉඩ භාවිතා කරමින් ඊට බාගත කරගැනීමෙනුයි. ඉතින් මේ විධියට කාලයක් යද්දී මෙසේ එකතුවන මාධ්‍ය ගොනු, කෑෂ් ආදිය නිසා දුරකථනයේ ඉඩ ප්‍රමාණය පිරී යනවා. ඉතින් 16GB වගේ සීමාවූ ඉඩ ප්‍රමාණයක් තිබියදී මෙවන් දේකට මුහුණ දෙන්න වෙනවා කියන්නේ දුක තමයි. iOS හරහා මේවා පිරිසිදු කරගන්නට ඍජු වැඩපිළිවෙලක් නොතිබුණත් ජේල්බ්‍රේක් කරගෙන තිබුණා නම් iCleaner වැනි යෙදුමක් හරහා මෙවන් අනවශ්‍ය ගොනු ඉවත් කරගෙන ඉඩ ඉතිරි කරගන්නට අවස්ථාව ලැබෙනවා.

බැටරි වැඩිපුර බැසීමේ අවධානමක් තිබෙනවා

(stuff.tv)

අර කාටද දැලිපිහිය අහුවුණා වගේ දුරකථනයේ උපරිම භාවිතයට අවස්ථාව සැලසුණා ම අපි දුරකථනයට දමා ගන්නා හැඩවැඩ ප්‍ර‍මාණය නිතැතින් ම වැඩි වෙනවා. වැඩිපුර ඇනිමේෂන් ටිකක් වගේ එහෙම දාගෙන තව තව වැඩකෑලි මීට එකතු කරගත්තා ම ඒ සඳහා වැයවන ප්‍රොසෙසර සහ රැම් ප්‍ර‍මාණය ඉහළ යන නිසා ඊට වන්දි ගෙවන්නේ බලය සපයන බැටරිය යි. දැනටමත් ඔබ ඉක්මණින් බැටරි බැසීමේ ප්‍ර‍ශ්ණයකින් පෙළෙනවා නම්, ජේල්බ්‍රේක් කිරීමෙන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන්නත් පුළුවන්.

නමුත් මෙය භාවිතය අනුව තීරණය වන දෙයක්. දැනට තිබෙන ඇනිමේශන් ද ඉවත් කරගෙන අවශ්‍ය නම් බැටරි ආයු කාලය වැඩි කරගන්නට පුළුවන්. LED තිර සහිත නූතන ඒවායේ නම් කළු පැහැති Night mode එක දාගත්තාම තිරයේ අඩක් ම පමණ නිවාදමාගන්නටත් හැකිවෙනවා.

වගකීම් සහතිකය අවලංගු වෙනවා

ජේල්බ්‍රේක් කිරීමෙන් ඔබේ දුරකථනයේ වගකීම් සහතිකය අහෝසිවී යන නිසා ඊට ඔබේ අතින් ඉන් අනතුරුව කිසියම් හෝ වරදක් සිදුවී ක්‍රියා විරහිත තත්වයට පත් වුණොත් එය සකසා දෙන්නට ඇපල් සමාගම තවදුරටත් ඊට වගකියන්නේ නැහැ. එනිසා ඊට ඇතැම්විට වැඩි මුදලක් වියදම් කරන්නට ද ඔබට සිදුවිය හැකියි. පසුකාලීනව දුරකථනය විකුණන්නට ඔබ අදහස් කරගෙන සිටිනවා නම් බොහෝ විට නව ගැණුම්කරුවන් ජේල්බ්‍රේක් කරතිබීම සහ වගකීම් සහතිකය අවලංගුවී තිබීමට අකමැති වීම හේතුවෙන් දුරකථනයේ වටිනාකම අවපාතවීමේ අවධානමක් ද තිබෙනවා.

iOS 10 සඳහා ජේල්බ්‍රේක් කිරීම තවමත් බීටා අවධියේ

ඇපල් සමාගම ජේල්බ්‍රේක් කිරීම හැමවිටම අපහසු කරවීමට කටයුතු කරනවා. දුරකථනයේ ක්‍රියාකාරීත්වය මුල් ආකාරයෙන් ම පවත්වා ගැනීම සඳහා ඔවුන් එසේ කරන නමුත් තෙවන පාර්ශවීය මෘදුකාංග සංවර්ධකයින් ද සෑම නිකුතුවකදී ම ඇපල් සමාගම ලබාදෙන අභියෝගය අතහරින්නට සූදානම් නැහැ. ඉතින් මෙවන් බාධා නිසාම නව iOS නිකුතුවක් පැමිණි විට සර්ව සම්පූර්ණ, ස්ථාවර ජේල්බ්‍රේක් කිරීම් හා ඉන් අනතුරුව භාවිතා කළ හැකි යෙදුම් බිහිවීමට කාලය ගත වෙනවා.

iOS 10 සඳහා ද ජේල්බ්‍රේක් කිරීම තවමත් තිබෙන්නේ බීටා අවධියේ යි. එනිසා ඔබ ජේල්බ්‍රේක් කරනවා නම්, දුරකථන මෙහෙයුම් පද්ධතියට විය හැකි ඕනෑම හානියකට ඔබ විසින් ම වගවීමට ඇති අවධානම තනිව දැරීමට සිදු වෙනවා. iOS9 සඳහා නම් වඩාත් ස්ථායී ජේල්බ්‍රේක් කිරීම් බිහිව තිබෙනවා.

(afaithtoliveby.com)

ඇපල් දුරකථනයේ වැඩි පහසුකම් ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඔබ ජේල්බ්‍රේක් කරනවා නම්, නැවතත් අපි සඳහන් කර සිටින්නේ එහිදී මුහුණදීමට සිදුවන සියළු අවධානම් තත්ව වලට ඔබට ම මුහුණදීමට සිදුවන බවයි. එවැන්නක් වුවහොත් අප හෝ එම තෙවන පාර්ශවීය මෘදුකාංග සංවර්ධනය කරන්නන් හෝ කිසිසේත් ම ඊට වගකියන්නේ නැහැ. මේකත් හරියට උණු හින්දා බොන්නත් බැහැ – කිරි හින්දා අහක දාන්නත් බැහැ ආකාරයේ දෙයක්.

මේ සම්බන්ධයෙන් ඔබේ අත්දැකීම් මොනවගේද? අපිත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තූරය: ytimg.com

Related Articles